මැතිවරණ කොමිසමේ වැඩට බාධා කළ සැකකරුට ඇප

මැතිවරණ කොමිසමේ වැඩට බාධා කළ සැකකරුට ඇප

August 16, 2024   07:13 pm

නාමයෝජනා භාරගන්නා අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කළේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 

රුහුණු ජනතා පක්ෂයේ සාමාජිකයකු බව කියන අයෙකු වැලිකඩ පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ මැතිවරණ කාර්යාලයට ඇතුළු වී නාමයෝජනා භාරගන්නා නිලධාරීන්ගේ  කටයුතුවලට බාධාවන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ සැකකරුට නාමයෝජනා භාර ගන්නා ස්ථානයට ඇතුළු වීම සඳහා ප්‍රවේශ පත්‍රයක් තිබූ බවයි.

එමෙන්ම නාම යෝජනාවක් සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට යාමේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබූ බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පවසා තිබේ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ. 

එසේම සැකකරුගේ දුරකථන හා පරිගණකය පරීක්ෂා කිරීම සඳහා පොලීසියට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් සැකකරුට නියෝග කර ඇත.

තවද නඩුව සැප්තැම්බර් මස 02 වනදා යළි කැඳවීමට ද අධිකරණය නියම කර තිබේ.