T20 කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වය සිම්බාබ්වේ ඉල්ලයි

T20 කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වය සිම්බාබ්වේ ඉල්ලයි

August 17, 2024   03:59 pm

බංග්ලාදේශය තුළ පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලානය එරට තුළ නොපවත්වන්නේ නම්, එය සිය රටේදී පවත්වන මෙන් සිබ්බාබ්වේ විසින් අයි.සී.සී.යෙන් ඉල්ලීමක් කර ඇත.

මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් මස 03 වනදා සිට බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් එරට තුළ පවතින දේශපාලනය අස්ථාවරත්වය හේතුවෙන් එය සැලසුම් කළ ලෙස බංග්ලාදේශයේම පවත්වනවාද, නැතිනම් වෙනත් රටකට රැගෙන යන්නේ දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ වනවිට සලකා බලමින් සිටී.

2003 එක්දින ලෝක කුසලානයට දකුණු අප්‍රිකාව සහ කෙන්යාව සමගින් සම සත්කාරකත්වය ලබාදීමෙන් පසු සිම්බාබ්වේ මේ දක්වා කිසිඳු ආකෘතියක ලෝක කුසලානයකට සත්කාරකත්වය ලබාදී නොමැත.

කෙසේ නමුත් ඔවුන් අවසන් වරට පැවැත් වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකෙහිම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සත්කාරක රට ලෙසින් කටයුතු කළේය.

එමෙන්ම ඔවුන් 2026දී පැවැත්වීමට නියමිතව තිබෙන අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලානයට නැමීබියාව සමඟ සත්කාරකත්වය ලබාදෙන අතර, 2027 පැවැත්වෙන එක්දින ලෝක කුසලානයටද දකුණු අප්‍රිකාව සහ නැමීබියාව සමඟ සම සත්කාරකත්වය හිමිකරගෙන සිටී.

මේ වනවිට සිම්බාබ්වේ දේශයේ ක්‍රිකට් ප්‍රවර්ධනය කෙරෙමින් තිබෙන අතර, ඔවුන්ගේ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගණය වන හරාරේ ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි ලෙසින් සංවර්ධනය කර ඇත.

තවද සිම්බාබ්වේ සිය ඉල්ලීමෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ලෝක කුසලානය පැවැත්වීමට සැලසුම් කර තිබෙන ඔක්තෝබර් මාසයේදී එරට තුළ පවතින්නේ වැසි රහිත කාලගුණයක් බවය.

මේ අතර අයි.සී.සී.ය විසින් මෙම තරගාවලිය බංග්ලාදේශයෙන් ඉවත්කර ඉන්දියාවට ලබාදීමටද පසුගිය දින කිහිපයේ උනන්දු විය.

කෙසේ නමුත් ඔක්තෝබර් මාසය ඉන්දියාවේ මෝසම් වර්ෂාවේ සක්‍රිය කාලයක් බැවින් ඔවුන් ලෝක කුසලාන සත්කාරකත්ව ලබා නොගන්නා බව තහවුරු කළේය.

එමෙන්ම මෙම කාලසීමාවේ ශ්‍රී ලංකාවටද වැසි ඇඳහැළෙන කාලසීමාවක් බැවින් අයි.සී.සී.ය ඇති එකම විකල්පය වී ඇත්තේ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන යාමය.

ඒ අනුව අයි.සී.සී.ය විසින් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය මේ මස 20 රැස්වීමෙන් පසු ප්‍රකාශයට පත්කරනු ඇති බව සඳහන් ය.