තවත් පාසල් සිසුවියකට අතවර කළ සිද්ධියක්

තවත් පාසල් සිසුවියකට අතවර කළ සිද්ධියක්

August 17, 2024   05:53 pm

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර සිදුකළ බව කියන පාසල් ගුරුවරයෙකු සහ එම සිදුවීම වසන් කළ බවට චෝදනා එල්ලවූ අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් මත මහවෙල පොලීසිය සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

12 හැවිරිදි අදාළ දැරිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරයෙකු විසින් ඇය ලිංගික අතවරයට ලක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දැරිය විසින් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය දැනුවත් කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් එම සිදුවීම කිසිදු අයෙකුට නොදන්වන ලෙස නියෝජ්‍ය විදුහල්පතිනිය දැරියට ප්‍රකාශ කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව එම සිද්ධියට අදාළ 51 හැවිරිදි ගුරුවරයා සහ 49 හැවිරිදි නියෝජ්‍ය විදුහල්පතිනිය මහවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.