ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක් 

ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක් 

August 18, 2024   06:38 pm

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව බෙල්ෆාස්හිදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 255ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව තරග 03කින් යුත් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත යුතුය.

අයර්ලන්ත ඉනිමේ අර්ධ ශතක තුනක් වාර්තා වූ අතර, ඉන් ඉහළම ඉනිම Leah Paul විසින් වාර්තා කළාය. ඇය පන්දු 101කට මුහුණ දෙමින් ලකුණු 81ක් රැස්කළ අතර, ඊට හතරේ පහර 06ක් ඇතුළත් විය.

ඇයට අමතරව Amy Hunter (66) හා Rebecca Stokell (නොදැවී 53) අර්ධ ශතක රැස් කරමින් අයර්ලන්ත ඉනිම ශක්තිමත් කළෝය. .

ශ්‍රී ලංකාව වෙනුවෙන් අචිනි කුලසූරිය (2/48) හා කවීෂා දිල්හාරි (2/35) කඩුලු 02 බැගින් බිඳහෙලූ අතර, චමරි අත්පත්තු (1/55) එක් කඩුල්ලක් දවාගත්තාය.

දෙරට අතර පළමු එක්දින තරගයෙන්ද කඩුලු 03ක ජයක් ලැබූ සත්කාරක අයර්ලන්ත කණ්ඩායම තරග 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණගෙන සිටියි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් මීට පෙර අයර්ලන්තය හමුවේ තරගාවලියක් පරාජය වී නොමැත.

එමෙන්ම ඔවුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායමක් හමුවේ පළමුවෙන්ම එක්දින තරගයක් පරාජය වූයේද මෙම තරගාවලියේදීය.