ඡන්ද දායකයෙකුට වැය කළ හැකි උපරිම මුදල කීය ද?

ඡන්ද දායකයෙකුට වැය කළ හැකි උපරිම මුදල කීය ද?

August 19, 2024   02:46 pm

ජනාධිපතිවරණයේදී ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් ගැසට් පත්‍රය අද (19) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

පසුගිය සෙනසුරාදා (17) ඊට අදාළව පැවති සාකච්ඡාවේ දී ශත පනහේ සිට රුපියල් 1,000 දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. 

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කළ යුතු වේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඒ පිළිබඳ තීරණය කිරීමට අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවේදී ශත පනහේ සිට රුපියල් දහස දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කළ බවය.

ඒ අනුව ජනාධිපතිවරණයේදී ජන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් ගැසට් පත්‍රය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති රටට ප්‍රකාශ කිරීම සඳහා සැලසුම් කළ විවාදයට මේ වන විට අපේක්ෂකයින් දෙදෙනෙකුගේ පැමිණීම තහවුරු කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

"අපේක්ෂකයින් 6කට ආරාධනා කළා.දෙමළ අපේක්ෂකයාටත් ආරාධනා කරනවා. දෙදෙනෙක් පැමිණීම තහවුරු කරලා. ප්‍රධාන මාධ්‍ය ඔස්සේ හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා. වැඩපිළිවෙළ ජනගත කරන්න අවස්ථාවක්. අපේක්ෂකයින්ගේ සහභාගීත්වය අපේක්ෂා කරනවා."