බදු සහ ගාස්තු හැරුණුවිට ආදායම් මූලාශ්‍රයක් රජයට නැහැ - දිලිත් 

බදු සහ ගාස්තු හැරුණුවිට ආදායම් මූලාශ්‍රයක් රජයට නැහැ - දිලිත් 

August 22, 2024   04:14 pm

ටෙලිකොම් ආයතනය සතු කොටස් විකිණීමට රජය දරණ උත්සාහය වරදක් බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ටෙලිකොම් වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (21) පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරු සංගමයේ පිරිසක් ඊයේ පස්වරුවේ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඇතුළු නියෝජිතයින් හමුවිය.

ඒ, ජනාධිපතිවරණය අතරතුර ටෙලිකොම් ආයතනය විකිණීමට රජය දරණ උත්සාහය පරාජය කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමිනි.

එහිදී ඊට අදාළ ලිපියක්ද ඔවුන් දිලිත් ජයවීර මහතා වෙත භාරදුනි.

සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා,

"ඒවා මොකටද විකුණන්නේ... රාජ්‍ය ව්‍යවසායකත්ව මනසක් තියෙන අය. සිංගප්පූරු රජයට ව්‍යවසායකත්ව මනසක් තිබෙන නිසා වැඩියෙන්ම ලාභ ලබන ව්‍යාපාර ආණ්ඩුව කරන්නේ. ටෙලිකොම් එකෙන් ආණ්ඩුවට සල්ලි හොයන්න පුළුවන්. අදටත් රජයේ ආදායම් අඩුවීමට එක හේතුවක් තමයි බදු සහ ගාස්තු හැරුණු කොට ආදායම් ලබන මූලාශ්‍රයක් රජයට නැහැ. තිබෙන මූලාශ්‍ර විනාශ කරගෙන.. ඉතුරු ටික විකුණන්න හදනවා. බදු කියන්නේ යටින් වැටෙන බිංදු. ලාභ කියන්නේ ඒකට නෙමෙයි."

මේ අතර ජනාධිපතිවරණ සමයේ ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමට එරෙහිව ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ අද (22) පෙරවරුවේ මැතිවරණ කොමිසම ඉදිරිපිට නිහඬ විරෝධතාවක ද නිරත වුණි.