එංගලන්තයට ලකුණු 205ක ඉලක්කයක්

එංගලන්තයට ලකුණු 205ක ඉලක්කයක්

August 24, 2024   07:25 pm

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය අදයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා අද සියලුදෙනා දැවී ලකුණු 326ක් රැස් කළ අතර ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 205කි.

අද (24) තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබා සිටියේය.

අද දිනයේදී එංගලන්ත පන්දුයවන්නන්ට මැනවින් පහරදුන් චන්දිමාල් සහ කමිඳු ශ්‍රී ලංකා දෙවන ඉනිමට නව ජීවයක් එක් කළේ පළමු භාගයේදි කිසිදු කඩුල්ලක් ලබා නොදෙමිනි.

චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 27 වැනි අර්ධ ශතකය අද වාර්තා කළ අතර  සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස්  සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 3වැනි ශතකය ලබාගත්තේ වාර්තාවක් ද තබමිනි. 

ඒ රසල් ආර්නල්ඩ්ගෙන් පසු ඕල්ඩ් ට්‍රැෆඩ් පිටියේ දී ටෙස්ට් ශතකයක් ලබාගත් දෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසය.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 236ක් රැස්කළේය.

එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 358ක් ලබා ගත්තේය.