පොලීසියේ තිදෙනෙක් අත්අඩංගුවට

පොලීසියේ තිදෙනෙක් අත්අඩංගුවට

August 29, 2024   02:57 pm

මත්කුඩු අලෙවි කරන නිවසක් බවට හඳුනාගෙන ඇති නිවසක සැක කටයුතු අන්දමින් රැඳී සිටි පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අද (29) අලුයම අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලීසියේ රාජකාරියේ නියුතු කොස්තාපල්වරුන් තිදෙනෙකි.

සැකකාර පොලිස් නිලධාරින් තිදෙනා මත්කුඩු අලෙවි කරන නිවසක රැඳී සිටින බවට උසස් පොලිස් නිලධාරියෙකුට ලද තොරතුරක් මත වැලිපැන්න පොලීසිය දැනුවත් කිරීමෙන් පසු රාත්‍රි ජංගම සංචාරයේ නිරත නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් නිලධාරීන් අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා එහි රැඳී සිටියේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද පොලීසිය පැවසීය.

සැකකරුවන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර වෛද්‍ය වාර්ථාවක් ලබාගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.