රාජ්‍ය පාලනයට ජනපති කරන්න යන අලුත් වෙනස

රාජ්‍ය පාලනයට ජනපති කරන්න යන අලුත් වෙනස

August 30, 2024   05:54 pm

නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පැවසුවේ ඒ වෙනුවෙන් නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) පළාත් මට්ටමින්,  දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එය සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාව වෙත පවරන බවය.

අද (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” ජාතික තරුණ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

දියුණු වන තාක්ෂණික ලෝකයත් සමග ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය තරුණ පරපුර වෙත ලබා දීමට තමන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

එමෙන්ම ඩිජිටල් අලෙවිකරණය, සේවාදායකයින්ට නිදහස් සේවාවන් සැපයීම, විද්‍යුත් වාණිජ කාර්යයන් ආදි ක්ෂේත්‍රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ට නව ආදායම් උත්පාදන මාර්ග විවර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසුවේය.