පොලීසියට අල්ලස් දෙන්න ගිය අයෙකුට අත්හිටවූ සිරදඬුවමක්

පොලීසියට අල්ලස් දෙන්න ගිය අයෙකුට අත්හිටවූ සිරදඬුවමක්

September 2, 2024   03:17 pm

පොලිස් නිලධාරියෙකුට අල්ලස්දීමට ගිය පුද්ගලයෙකුට වසර 2ක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම කර එය වසර 15කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

පසුගිය 26 වනදා එම නියෝගය ලබාදී තිබුණි. 

චූදිතයාට විරුද්ධව චෝදනා ගොනුකර ඇත්තේ, ගංජා කිලෝග්‍රෑම් 6ක් සන්තකයේ තබාගැනීම සහ ගංජා වගාකිරීම යන වැරදි සම්බන්ධයෙන් නීතිය මගින් කටයුතු නොකර සිටීම සඳහා පොලිස් පරීක්ෂකවරයෙකුට අල්ලස් වශයෙන් රුපියල් 5,000ක මුදලක් පිරිනැමීමට සම්බන්ධයෙනි.

එම චූදිතයා සියලුම චෝදනා පිළිගෙන ඇති අතර මහාධිකරණය තවදුරටත් ඔහුට රුපියල් 5,000ක දඩ මුදලක් ගෙවීමට නියෝග කර ඇති අතර දඩ නොගෙවන්නේනම් අමතර මාස 03ක සිර දඬුවම් ද නියම කර ඇත. 

තවද අල්ලස් වශයෙන් පිරිනැමූ මුදල රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග  කර ඇත.