සැබෑ නායකත්වය ගැන කියන සජිත්

සැබෑ නායකත්වය ගැන කියන සජිත්

September 3, 2024   08:24 am

‍මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය ද දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් ගණනය කළ යුතු බවය.

අනුරාධපුර නගරයේ පැවති ව්‍යාපාරික සහ විද්වත් හමුව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේය.

"ආර්ථික වශයෙන් රට විශාල ලෙස බෙදිලා. ඇතිහැකි, නැතිබැරි පරතරය බොහෝම පුළුල් ලෙස තියෙනවා. ඇතිහැකි පළාත් තියෙනවා. නැතිබැරි පළාත් තියෙනවා. ඇත්තටම ගණන් හදලා බැලුවහම බස්නාහිර පළාතෙන් බැහැරව ආර්ථික වර්ධනයට විවිධ පළාත් ලබාදෙන දායකත්වය ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. සැබවින්ම රට ගොඩගන්න කටයුතු කරන නායකයෙක් නම් වහාම නියෝග කරන්න ඕනේ දළ දේශීය නිෂ්පාදිතයට දෙන දායකත්වය දිස්ත්‍රික්ක මට්ටමින් ගණනය කරන්න. ඒකත් ප්‍රමාණවත් මදි. එතැනින් අපි යන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට. හරියට ඒ ගණනය කිරීම කළොත් අපිට පුළුවන් ඒ හැම ප්‍රදේශයකම සම්පත්, ප්‍රයෝජනයට ගත හැකි දේ, ඌණතාවයන්, විෂමතාවයන්, ගැටලු හොඳින් හඳුනාගෙන දත්ත කේන්ද්‍රීයව, විද්‍යාත්මිකව සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි. අපි අවංකවම අලුත් විදියට හිතලා අලුත් ගමනක් යමු."