පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

September 3, 2024   09:32 am

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව අද (03) සහ හෙට (04) රැස්වීමට නියමිතව ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

ඉන් අනතුරුව විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත දෙවනිවර කියවීම, අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත දෙවනිවර කියවීම සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පස්වරුවේ ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

හෙට දිනයේ ද පෙරවරු 9.30 සිට පස්වරු 5 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.