ධාවනය වෙමින් තිබු ලොරි රථයක් ඩෙවොන් ඇළට පෙරළෙයි

ධාවනය වෙමින් තිබු ලොරි රථයක් ඩෙවොන් ඇළට පෙරළෙයි

September 3, 2024   10:44 am

තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළ මාර්ගයට පෙරළී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු ලොරි රියදුරුව කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව දිඹුල පතන පොලීසිය පැවසීය.

අනතුර සිදු වී ඇත්තේ ඊයේ (02) රාත්‍රි 7ට පමණ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශීය රෝහල ආසන්නයේදීය.

ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරිය රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරළී තිබේ.

අනතුර සිදුවෙනවාත් සමග ලොරි රථයේ රියදුරුට සිහිසුන් වී රියදුරු අසුනේම රැඳී සිටිය දී වතු කම්කරුවන් පිරිසක් සහ දිඹුල පතන පොලීසියේ නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා රියදුරුව ඉන් බේරාගෙන ඇත.

ඩොවොන් ඇළ මාර්ගයේ ජල ධාරිතාව පවතින වර්ෂාවත් සමග ඉහළ ගොස් ඇති නිසා ලොරි රථය ඇළ මාර්ගය ඔස්සේ ගසාගෙන යාම වැළැක්වීම සඳහා ලොරි රථය ආධාරක පටි යොදා රඳවා ඇති අයුරු අප කැමරාවේ සටහන් විය.