අපේ බලය පෙන්වමු - දිලිත්

අපේ බලය පෙන්වමු - දිලිත්

September 5, 2024   05:10 pm

ජාතික ආරක්ෂාව ගැන නිවැරදි විගණනයකින් තොරව හමුදාව ස්වාභාවිකව දුර්වලවීමකට ඉඩහැරීම පිටුපස යම් බලවේගයක් ක්‍රියාත්මක වන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

අද (05) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ සෑම ප්‍රතිපත්ති ප්‍රකාශයක් තුළම හමුදාව දුර්වල කිරීම පිළිබඳ කරුණු සඳහන් කර ඇති බවය.

"මම දැක්කා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එහෙම එකක් තියෙනවා. මේක පුදුම ලෙඩක් වෙලා. ඔය කියන්නේ ත්‍රිවිධ හමුදාවේ ශක්තිය ස්වාභාවිකව අඩුවීමට ඉඩ සලස්වනවා කියලා. ඒක අපේක්ෂකතුමාගේ භාෂාවෙන්ම දාලා තියෙනවා. ස්වාභාවිකව දුර්වලවීමට ඉඩ හැරීම. මට තේරෙන්නේ නැහැ... මේ හමුදාව පස්සෙම යන්නේ ඇයි කියලා. ඒක වියදම් වැඩිනම් ඔය තියෙන්නේ දේශපාලකයින්ගේ අඩු කරන්න. හැම ප්‍රතිපත්ති ප්‍රකාශයක් අස්සෙම හමුදාව දුර්වල කිරීම ගහලා තියෙනවා. ඕක ජනතා විමුක්ති පෙරමුණ එකෙත් තියෙනවා...වෙන විදියකට. ඔක්කොටම පුදුම පිස්සුවක් හැදීගෙන යන්නේ. මේ රට රැක ගන්නට එදා මෙන් අදත් ඉන්නේ ත්‍රිවිධ හමුදාව. මේක මහා විරෝධාර හමුදාවක්. මොන විද්‍යාත්මක පදනමකින් ද කියන්නේ හමුදාව දුර්වල කිරීමක් ගැන. මේ කියන්නේ මේ ඔක්කොම විවිධ බලපෑම්වලට නතු වුණු දේශපාලන බලවේග සහ අපේක්ෂකයින්. අපේ ස්වාමීන්වහන්සේලාගේ නිහඬතාවයක් අද අපි දකිනවා. හේතුව සමාජ මාධ්‍යයෙන් ගහන නිසා. මේක නතර කරන්න ඕනේ. අපේ සැබෑ බලය අපි පෙන්වන්න ඕනේ. නිරාගමික සංකල්ප ගෙනාවට.. සුළුතරයකට බය වෙන්න කිසිම හේතුවක් නැහැ."