පොහොට්ටුව ඇල්පිටියට ඇප තබයි

පොහොට්ටුව ඇල්පිටියට ඇප තබයි

September 6, 2024   10:34 am

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීම සදහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප තැන්පත් කර තිබේ.

එම ප්‍රාදේශීය සභා මැතිවරණයට තම අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය අගෝස්තු 26 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කළේය.

ඒ අනුව ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම - සැප්තැම්බර් 11 වන දින මධ්‍යහ්න 12 දක්වා (මෙම කාලය අතරතුර එළැඹෙන 2024 අගෝස්තු 31 හා 2024 සැප්තැම්බර් 1, 7 හා 8 යන සෙනසුරාදා හා ඉරිදා දිනවල දී හැර).

නාමයෝජනා භාරගැනීම 2024 සැප්තැම්බර් 9 සිට සැප්තැම්බර් 12 දින මධ්‍යහ්න 12 දක්වාත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් දිසාපති කාර්යාලයේ දී සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා විසින් නිවේදනය කළේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව 2024.08.26 වනදා සිට 2024.09.13 වනදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම කාලය කිසිසේත්ම දීර්ඝ නොකරන බවයි.

මේ අතර තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2024 ඡන්දහිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

ඊට අමතරව අවශ්‍ය වන තොරතුරු ලබාගැනීම සඳහා 2024 ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දහිමි නාමලේඛන පහත සඳහන් ස්ථානවලදී ද ප්‍රදර්ශනය කෙරේ.

ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය
ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලය
ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල (එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් නාමලේඛන)