බලහත්කාරයෙන් රැඳී සිටි අධ්‍යාපන රාජ්‍ය ඇමති ව වතු බංගලාවෙන් ඉවතට  

බලහත්කාරයෙන් රැඳී සිටි අධ්‍යාපන රාජ්‍ය ඇමති ව වතු බංගලාවෙන් ඉවතට  

September 6, 2024   10:36 am

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑළිය දිසා අධිකරණයේ නියෝගයක් මත ඊයේ (05) එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය සහ පිස්කල් නිලධාරින් විසින් අදාළ වතු අධිකාරිවරයා වෙත භාර දි ඇත.

අරවින්ද කුමාර් මහතා 1987 වසරේ එම වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කළ අවදියේ වතුයායේ පාලන අධිකාරිය විසින් අරවින්ද කුමාර් මහතා ට නිල නිවස වශයෙන් භාවිත කිරිමට මෙම නිල නිවස ලබා දි තිබුණි.

ඔහු එම වතුයායෙන් ඉවත්විමෙන් පසු ඔහුට ලබා දි තිබු නිල නිවස ආපසු වතුයායට භාර නොදි එම නිවස අලුත්වැඩියා කර එහි රැඳී සිටිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් නුවරඑළිය දිසා අධිකරණය හමුවේ නඩු පැවරීය.

නුවරඑළිය දිසා අධිකරණයේ දිර්ඝ කාලයක් විභාග වෙමින් පැවති එම නඩුවේ තීන්දුවෙන් අරවින්ද කුමාර් මහතාට එම නිල නිවසෙන් ඉවත්වන ලෙසට ලබාදුන් නියෝගයට අරවින්ද කුමාර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කර තිබු අතර, ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ඔහුට එම නිවසෙන් ඉවත් වන ලෙස ට නියෝග කර ඇත.

පසුව ඔහු අභියාචානාධිකරණයටද අභියාචනාවක් ඉදිරිපත් කර තිබු අතර, අභියාචනාධිකරණයෙන්ද එම තීන්දුවම ලබා දි තිබුණි.
 
නුවරඑළිය දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය මත එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු පිස්කල් නිලධාරින් ලිඳුල පොලීසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවස වෙත පැමිණ නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ලැයිස්තුගත කර එහි පිටපතක් අධිකරණය භාරයේ තබා ගනිමින් එම නිවස සහ බඩු බාහිරාදිය එම වතුයායේ පාලන අධිකාරිය වෙත භාර දි ඇත.

අරවින්ද කුමාර් මහතා දේශපාලනයට පිවිසිමත් සමග දේශපාලනය බලය භාවිත කරමින් එම නිල නිවසේ මෙතෙක් කාලයක් රැඳී සිටි බව හෙන්ෆොල්ඩ් වතුයායේ පාලන අධිකාරිය පැවසීය.

අධිකරණය මගින් වතු පාලන අධිකාරිය වෙත භාරදුන් නිල නිවස එම වතුයායේ සේවය කරන වෙනත් නිලධාරියෙකුට නිල නිවස වශයෙන් භාවිත කිරිමට ලබාදෙන බව වතුයායේ නිලධාරියෙකු කියා සිටියේය.