පළමු දිනයේදීම එංගලන්තය ප්‍රබල තත්ත්වයක

පළමු දිනයේදීම එංගලන්තය ප්‍රබල තත්ත්වයක

September 7, 2024   07:00 am

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ දී ඊයේ (7) ආරම්භ වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදීම ප්‍රබල ආරම්භයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

අයහපත් කාලගුණය හේතුවෙන් පළමු දිනය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදු වුවත්, ඒ වනවිට එංගලන්ත කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 221ක් රැස්කරගෙන සිටියේය.

ඊයේ දිනයේදී යොමුකළ හැකිවූයේ පන්දුවාර 44.1ක් පමණි.

පළමු තරග දෙකේදීම අසාර්ථක වූ වැඩබලන නායක ඔලී පොප් සිය අඩුපාඩු මඟහරවා ගනිමින් මෙවර සාර්ථකව තරගයට අවතීර්ණ වී සිටි අතර, ඔහු තරගය නතර කරන විටත් ලකුණු 103ක් රැස්කරගෙන සිටියේය. 

මෙය ඔහුගේ 07වැනි ටෙස්ට් ශතකය වන අතර, නායකයෙකු ලෙස රැස්කළ පළමු ශතකය ද විය.

ඔහුට අමතරව ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 86ක් රැස්කරගෙන සිටියදී දැවීගියේය.

කෙසේ නමුත් තරගාවලියේ මේ දක්වා සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින ජෝ රූට්ගේ ඉනිම මෙවර ලකුණු 13කට සීමා වූ අතර, ආරම්භක පිතිකරු ඩැන් ලෝරන්ස් රැස්කළේද ලකුණු 05ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර (2/81) හා මිලාන් රත්නායක (1/34) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

අද තරගයේ දෙවැනි දිනයයි