සංගා රාජස්ථාන් අත්හැර කොල්කටා හා එක්වෙයි ?

සංගා රාජස්ථාන් අත්හැර කොල්කටා හා එක්වෙයි ?

September 7, 2024   03:27 pm

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 2025 අදියරේ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායමේ උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර එක්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොල්කටා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් නිමා වූ විස්සයි20 ලෝක කුසලානයෙන් පසු ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙසින් නම් කෙරුණි.

ඒ හේතුවෙන් මේ වනවිට කොල්කටා කණ්ඩායමේ උපදේශක තනතුර පුරප්පාඩු වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව කොල්කටා කණ්ඩායමේ සම හිමිකරු ලෙසින් කටයුතු කරන ෂාරුක් ඛාන් සහ සංගක්කාර අතරද මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

2021 වසරේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙසින් එක්වූ සංගක්කාර ඉදිරියේදී එම තනතුරෙන් ඉවත් වීමට නියමිත බව සඳහන් ය.

ඒ හේතුවෙන් රාජස්ථාන් ප්‍රධාන පුහුණුකරු ලෙසින් විස්සයි20 ලෝක ශූර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට රාජස්ථාන් පාලනාධිකාරිය තීරණය කර තිබේ.

2022 සහ 2023 අයි.පී.එල්. අදියරයන්හි ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ගාම්භීර්, 2024 වසරේදී කොල්කටා හා එක් විය.

වත්මන් අයි.පී.එල්. ශූරයන් ලෙසින් කොල්කටා කණ්ඩායම මෙහෙවීම සඳහා ගාම්භීර්ගෙන්ද සුවිශේෂී දායකත්වයක් ලැබුණි.