දුනිත්ගේ දස්කම් කොදෙව් දූපත්වල රැව්දෙයි

දුනිත්ගේ දස්කම් කොදෙව් දූපත්වල රැව්දෙයි

September 7, 2024   04:07 pm

බ.ඉ. කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ප්‍රධානම ක්‍රිකට් ලීගය වන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියට එක්ව සිටින යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියව්වෙන්ම මේ වනවිට දස්කම් දක්වමින් සිටියි.

බාබෙඩොස් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන දුනිත්, තරගාවලියේ ඊයේ (6) පැවති තරගයේදීද කැපී පෙනෙන දස්කම් දැක්වීය.

ශා. කිට්ස් කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගයේදී දුනිත් පන්දු යැවීමෙන් ලකුණු 35කට කඩුලු 03ක් දවාගත් අතර, පන්දුවට පහරදීමෙන් පන්දු 32කට ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය.

ඒ හේතුවෙන් තරගයේ වීරයාට හිමි සම්මානයද දුනිත් දිනාගත්තේය.

දුනිත්ට අමතරව බාබෙඩොස් කණ්ඩායමට මහීෂ් තීක්ෂණද ක්‍රීඩාකළ අතර, ඔහුද මෙම තරගයේදී ලකුණු 16කට කඩුලු 02ක් දවාගැනීමට සමත් විය.

තවද ප්‍රතිවාදී කණ්ඩායමේ වනිඳු හසරංගද ක්‍රීඩා කළේය. 

ඔහුද පන්දුවට පහරදීමෙන් පන්දු 27කින් ප්‍රහාරාත්මක ලකුණු 40ක් රැස්කළ අතර, පන්දු යැවීමෙන්ද ලකුණු 33කට එක් කඩුල්ලක් දවාගත්තේය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශා. කිට්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 08ක් දැවී ලකුණු 153ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ලකුණු 154ක ඉලක්කයක් හඹාගිය බාබෙඩොස් රෝයල්ස් කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට සමත් විය.

කණ්ඩායම් 06ක සහභාගිත්වයෙන් පැවැත්වෙන CPL තරගාවලියේ මේ දක්වා තරග දෙකකට ක්‍රීඩාකළ බාබෙඩොස් කණ්ඩායම එම තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 02වැනි ස්ථානය හිමිකරගෙන සිටියි.