තැපැල් ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍යයේ දැමූ අය සොයා විමර්ශනයක්

තැපැල් ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍යයේ දැමූ අය සොයා විමර්ශනයක්

September 7, 2024   06:19 pm

සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලීසියට දැනුම්දී තිබේ.

ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පසුගිය 4,5 සහ 6 යන දිනවලදී මෙවර ජනාධිපතිවරණයට අදාළ ව තැපැල් ඡන්ද විමසීම සිදු කෙරුණි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිද පාර්ශ්ව විවිධ මත පළ කර තිබූ අතර අපේක්ෂකයින් වෙනුවෙන් භාවිත කරන ලද ඡන්ද ප්‍රතිශත ද ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයෙකු විසින් මුදා හැර තිබු අතර එය සම්පුර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡායාරූපයක් ගැනීම හෝ එය ප්‍රදර්ශනය කිරීම මැතිවරණ පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.

ඒ අනුව අදාළ ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත යොමුකළ පාර්ශ්ව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර පසුගිය දින 03 තුළදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වු රාජ්‍ය සේවකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තවත් දින දෙකක කාලයක් ලබාදී තිබේ.

ඒ අනුව එළඹෙන බදාදා (11) සහ බ්‍රහස්පතින්දා (12) දින දෙක ඒ සඳහා වෙන්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.