ඉන්දීය ජාතිකයාගේ රත්‍රන් ජාවාරම කටුනායක දී මාට්ටු

ඉන්දීය ජාතිකයාගේ රත්‍රන් ජාවාරම කටුනායක දී මාට්ටු

September 8, 2024   09:12 am

රුපියල් කෝටි තුනක පමණ වටිනාකමකින් යුත් රන් බිස්කට් තම කලිසම් සාක්කුවේ සඟවාගෙන කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු ඊයේ (7) පස්වරුවේ ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

29 හැවිරිදි පුද්ගලයෙකු වන මෙම ඉන්දීය ජාතිකයා ව්‍යාපාරික ගුවන් මගියෙකු ලෙස ඉකුත් 06 වනදා චෙන්නායි සිට පැමිණ ඇත.

ඔහු ඊයේ පස්වරුවේ නැවත බැංගලෝර් වෙත පිටත්ව යෑම සඳහා ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

මොහු පිටත්වීමේ පර්යන්තයේ සිට සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය වෙත ගොස් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ වනවිට ඔහුගේ කලිසමේ සාක්කුවක් තුළ කුඩා බෑගයක කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 158ක් බරැති රන් බිස්කට් 09ක් සහ තවත් රන් බිස්කට් කැබළි 03ක් සඟවා ගෙන සිට ඇත.