විවාදය මගහැරි අයට ජනතාව ආමන්ත්‍රණය කරන්න අයිතියක් නෑ - දිලිත්

විවාදය මගහැරි අයට ජනතාව ආමන්ත්‍රණය කරන්න අයිතියක් නෑ - දිලිත්

September 8, 2024   03:11 pm

ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ඊයේ (07) පැවති විවාදයට සහභාගී නොවූ අයට තවදුරටත් ජනතාව ආමන්ත්‍රණය කිරීමේ අයිතියක් නොමැති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

අද (08) හලාවත පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

"ඊයේ විවාදයට ආපු නැති, එනවා කියලත් ආපු නැති අනුර කුමාරත්, සජිත් ප්‍රේමදාසත්, නාමල් බබත්, එන්න බෑ කියලා කලින් ලියුමක් එවපු රනිල් වික්‍රමසිංහටත් මේ රටේ ජනතාව තවදුරටත් ආමන්ත්‍රණය කරන්නට අයිතියක් නැහැ. මුළු ලංකාවේම නාලිකා හිටියා තම තමන්ගේ වැඩපිළිවෙළවල් කියනතුරු දැන් තම තමන්ගේ දායක සභාවල් ගෙනල්ලා ඉස්සරහා පුටු ටිකේ වාඩි කරලා.. සල්ලිවලට ගෙනාපු මිනිස්සු ටික පස්සෙන් වාඩි කරලා. කැමරාවක් උඩින් යවලා දායක සභාවට දේශනාකරලා වැඩක් නැහැ. ලංකාවේ ඔක්කොම මිනිස්සු අද දන්නවා මොවුන්ට වැඩපිළිවෙළක් නැහැ. ඒක නිසා තමයි ආවේ නැත්තේ. ඔබේ ජීවිතය වෙනස් වෙන විදිහ කියන්න දන්නේ නැහැ. ජනාධිපතිවරණය ඉවර වුණාම ඔබ ආයෙමත් ඒ වළේ හෝ ඊට වැඩිය විශාල වළක වැටෙනවා නම් අපි තුන්වෙනි ලෝකයේ රටක් හැටියට ඉඳලා යම ලෝකයේ රටක් වෙනවා නම් මොනවද කතා කරන්නේ? අන්න ඒකයි අපිට කියන්න තියෙන්නේ ආදරණීය අම්මේ තාත්තේ."   

"අපි ඉදිරිපත්කළා වැඩපිළිවෙළක් ඒ ඔබේ ජීවිතය වෙනස්වන වැඩපිළිවෙළ. දශක ගණනක් මේ රට ගොඩගන්න බැරිවෙලා තිබුණු හේතුව නිවැරදි කරන වැඩපිළිවෙල, කවදත් අපේ ලංකාවේ දේශපාලනය නොදැක්ක වැඩපිළිවෙළ. අපි ඒකයි මේකට උපායමාර්ගික වැඩපිළිවෙළ කිව්වේ. මේ තුළ මේ රටේ කුඩාම කුඩා ව්‍යවසායකයාගේ සිට ලොකුම ලොකු ව්‍යාවසායකයා දක්වා, රාජ්‍ය නිලධාරියා දක්වා ආවරණය වන වැඩපිළිවෙළක්. ඔවුන්ගේ ජීවිතය වෙනස්වන දින වකවානු සටහන් කර ඇති වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. කිසිම පොරොන්දුවක් ඒකේ නැහැ. ඒකේ තියෙන්නේ වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළ වෙන විදියත් ලියලා තියෙනවා."