තලතාගේ සහාය රනිල්ට

තලතාගේ සහාය රනිල්ට

September 8, 2024   04:29 pm

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඇය මේ වන විට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන රැලියට එක් ව සිටියි.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කරමින් පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තුවේ දී සංවේදී කතාවක් සිදුකරමින් ඇය සඳහන් කර සිටියේ, එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම පිළිබඳව තමාගේ කැමැත්තක් නොමැති බවය.

තලතා අතුකෝරල, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් වූ ගාමිණි අතුකෝරල මහතාගේ සහෝදරිය වෙයි.

ඇය 2004 වසරේදී පළමුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

එසේම 2010, 2015 සහ 2020 මහ මැතිවරණවලදී ඇය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

2020 වසරේදී ඇය රත්නපුර දිස්ත්රිකයෙන් මනාප 45,105ක් ලබාගනිමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

තලතා අතුකෝරල මහත්මියගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින කරුණාරත්න පරණවිතාන මහතා පත් වූ අතර ඔහු ලබා තිබූ මනාප ගණන 36,787කි.