එස්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ FR පෙත්සම් විභාගය කල් යයි

එස්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ FR පෙත්සම් විභාගය කල් යයි

September 9, 2024   03:47 pm

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව එම නෞකාවේ කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී තිබෙන කටඋත්තරවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ නෞකා අනතුර හේතුවෙන් පීඩාවට පත්වූවන්ට වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, ධීවර ප්‍රජාව ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් මෙම දැනුම්දීම සිදුකළේය.

මෙම පෙත්සම් අද (09) මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් දුන් නියෝගය පරිදි අදාළ නෞකා අනතුර සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශවල පිටපත් දැනටමත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව සඳහන් කළේය.

ඊට අමතරව සිද්ධියට අදාළව හාබර් මාස්ටර්වරයාගේ සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාගේ දිවුරුම් ප්‍රකාශ අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව සඳහන් කළේය.

එසේම මෙම අනතුර හේතුවෙන් සිදුවූ හානිය සඳහා වන්දි අයකර ගැනීම වෙනුවෙන් එක්සත් රාජධානියේ ගොනුකර තිබෙන නඩුවට අදාළ ලේඛන ද මෙම අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බවත් සඳහන් කෙරිණි.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම සිද්ධිය හේතුවෙන් පීඩාවට පත් පුරවැසියන්ට මෙන්ම සියලු පාර්ශ්වයන්ට යුක්තිය ඉටුවන අයුරින් මෙම සිද්ධියට අදාළ නීති කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් රාජධානිය හා සිංගප්පූරුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 

අදාළ පෙත්සමේ වගඋත්තරකාරියක ලෙස නම්කර සිටින සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපතිනී දර්ශනී ලහඳපුර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ව රජය විසින් කරුණු ඉදිරිපත් කිරීමේදී එකිනෙකට පරස්පර කරුණු මෙන්ම ඇතැම් වැදගත් කරුණු ඉදිරිපත් කිරීම මඟහැරී තිබෙන බවත් සඳහන් කළාය. 

එබැවින් ඊට අදාළ ලේඛන ගොනු කිරීම සඳහා තමන්ට කල් ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. 

එම කරුණු සලකා බැලූ පංච පුද්ගලික විනිසුරු මඩුල්ල අදාළ ලේඛන මේ මස 23 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපතිනියට නියෝග කෙරිණි. 

අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය නොවැම්බර් මස 5 වනදා තෙක් කල්තැබීමටත් පියවර ගෙන තිබේ.