වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් ගලවන්නැයි කොමිසමෙන් නියෝග

වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් ගලවන්නැයි කොමිසමෙන් නියෝග

September 10, 2024   07:13 am

ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියලු ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ එය වරදක් වන බැවිනි.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි යනාදිය ප්‍රදර්ශනය කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අදාළ ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බලප්‍රදේශයක්ම ආවරණය වන පරිදි හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 3,041ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම පැමිණිලි අතර මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 2,947ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 25ක් වන බව සඳහන්ය.

මේ අතර ලබන 21 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් මස 20වන සිකුරාදා දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට කලාප අධ්‍යාපන කාර්යාලවලට දැනුම් දී ඇති බව  නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.