ලංකාවේ දරුවන් අතර මන්දපෝෂණ ඉහළට

ලංකාවේ දරුවන් අතර මන්දපෝෂණ ඉහළට

September 10, 2024   03:46 pm

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

අඩු බර, මිටිභාවය, කෘෂභාවය, සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම - වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු හතර මගින් ළමා මන්දපෝෂණ තත්ත්වය ඇති වන බව එම නිවේදනයේ පෙන්වා දී ඇත.

ග්‍රෑම් 2,500 ක් හෝ ඊට අඩු උපත් බරක් සහිතව උපදින දරුවන් අඩු උපත් බරක් ඇති දරුවන් ලෙස සැලකෙන අතර 2022 දී සිදුකරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණයට අනුව, අඩු උපත් බර ව්‍යාප්තිය 15.9%ක අගයක පැවති බව මෙම වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම 2023 ජූනි පෝෂණ මස තක්සේරුවෙන් හඳුනාගෙන ඇත්තේ 2022 වසරට සාපේක්ෂව ළදරුවන් සහ අවුරුදු 02 දක්වා වන ළමුන් අතර අඩු බර සහ මිටිභාවය වැඩි වී ඇති බවය. 

වඩාත්ම තැති ගන්වන සුළු ඉහළම අඩු බර අනුපාතය වූ 24.6%ක අගය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ .

ඒ අනුව සෑම දරුවන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් මධ්‍යස්ථ හෝ දැඩි ලෙස අඩු බර සහිත දරුවන් ලෙස හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

2023 වසරේ ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ කෘෂභාවයට ලක් වූ දරුවන්ගේ අනුපාතය 10% ක් ලෙස මෙම වාර්තාවේ දැක්වේ.

අවුරුදු 5 ට අඩු සියලුම දරුවන්ගෙන් 1.2% ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිට ඇති අතර සංඛ්‍යාත්මකව ළමුන් 16,000 කට ආසන්න ප්‍රමාණයක් එලෙස උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පිඩා විඳ ඇත.

2023 පෝෂණ මාසයේ වාර්තාව මගින් වයස අවුරුදු 05ට අඩු දරුවන් අතර මිටි බව 10.3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පෙර වසරට වඩා 9.2% ක වැඩිවීමක් බව අනාවරණය වී තිබේ.

සම වයසේ දරුවන් හා සැසඳීමේ දී දක්නට ලැබෙන මිටිවීම හෝ උස අඩු වීම, නිදන්තගත මන්දපෝෂණය හේතුවන් කාලයක් පුරා සිදුවන බව හඳුනාගෙන ඇති බව වාර්තාව මගින් අනාවරණය කර තිබේ. 

මේ අතර 2022 දී සිදු කරන සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 5-18 අතර ළමුන්ගේ ජාතික වශයෙන් නියෝජනීය නියැදියක දී වයසත් සමග මිටි භාවය, අධික බර සහ තරබාරුකම වැඩි වන බව අනාවරණය වී ඇත.

ගෘහස්ථ මට්ටමින් ආහාර සුරක්ෂිතතාව නිසි පරිදි නොපැවතීම ද මන්දපෝෂණ තත්ත්වය ඇතිවීමට බලපා ඇති බව වාර්තාව මගින් පෙන්වා දී ඇත.

2022 වර්ෂයේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් සමස්ත ජනගහනයෙන් 98% ක් ආහාර මිල ඉහළ යාම නිසා පීඩාවට පත් වී ඇති අතර ඒ හේතුවෙන් එම වර්ෂයේ අවසාන මාස හය තුළදී අධ්‍යයනය කරන ලද කුටුම්බ වලින් 74% ක ප්‍රමාණයකට ආහාර හෝ දෛනික අත්‍යවශ්‍ය ද්‍රවය මිලදී ගැනීමට හැකියාව නොතිබූ බව වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

එමෙන්ම ආහාර අනාරක්ෂිත කුටුම්බ ප්‍රමාණය 2023 මාර්තු මාසයේ පැවති 17% ක ප්‍රමාණයට සාපේක්ෂව 2023 වර්ෂයේ තුන්වන කාර්තුවේදී 24% ක් දක්වා ඉහළ ගොස් ඇත. 

සමස්ත පවුල් වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩු කර හෝ ඔවුන්ගේ පරිභෝජනය සීමා කර ඇති අතර හතරෙන් එකක් අසල්වැසියන්ගෙන් ලැබෙන අහාර මත ජීවත් වෙන බවද මෙහි දක්වා තිබේ.

අදාළ සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ,