අරුන් සිද්ධාර්ත්ගෙන් සැර පිළිතුරක්

අරුන් සිද්ධාර්ත්ගෙන් සැර පිළිතුරක්

September 11, 2024   07:10 am

තමන් වරදක් සිදුකර නැතිනම් ජනතාව හමු වී ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජික සහ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, පසුගිය 07 වනදා ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් පැවැත්වූ විවාදයට නොපැමිණි අපේක්ෂකයන් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඔහු පෙන්වා දෙන්නේ, විවාදයකට සහභාගීවිමට පවා නොහැකි පුද්ගලයින්ගෙන් ජනතාවට පවතින පාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවය.

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරුන් සිද්ධාර්ත් මහතා,

"අපි දැක්කා අමෙරිකාවේ මේ විවාද, ලෝකේ වටේ මේ විවාද සිදුවෙනවා. ජර්මන්වල, ෆ්‍රාන්ස්වල, මෙක්සිකොවල, එංගලන්තයේ වගේ දියුණු වෙච්ච රටවල ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෝ සෘජුව විවාද කරන එක සංස්කෘතියක්. ඒ සිස්ටම් චේන්ජ් එක අපිත් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ විවාදයට මේ කිසිම කෙනෙක් සහභාගි වුණේ නෑ. මේ අය හැමකෙනාම පස්ස ගැහුවා. ඒකම තරුණයන්ට හොඳ සලකුණක්. දිලිත් ජයවීර මැතිතුමා ඇරෙන්න, අර අනිත් අපේක්ෂකයෝ පස්දෙනාම මේ චූටි චෙන්ජ් එකවත් කර ගන්න බැරි වුණ අය. කොහොමද අනිත් ඒවා වෙනස් කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. තමන් ළඟ වරදක් නැත්තන් ඇයි මිනිස්සු හම්බ වෙන්න බය වෙන්නේ. මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බය වෙන්නේ."

"අනුර කුමාර මහත්තයා යාපනේ ඇවිල්ලා කරපු ප්‍රකාශයක් තියෙනවා. දකුණේ ජනතාව අපිට තමයි ඡන්දේ දාන්නේ, අපි අනිවාර්යයෙන් ජය ගන්නවා. ඒ ජයග්‍රහණයේදී උතුරේ ජනතාවත් අපිට අනිවාර්යයෙන් ඡන්දේ දාන්න ඕනේ නැත්තන් දකුණේ අය හතුරෝ හැටියට සලකයි කියලා. බය කරලා, තර්ජනය කරලා, මිනිස්සුන්ගෙන් ඡන්දෙ ගන්නේ ඒ වගේ කතාවක් තමයි කියලා ගියේ. ඒ කතාව අපි පැහැදිලිව දෙතුන්පාරක් ඇහුවා. අර ලාල්කාන්තලා දෙන්නේ පුස් ටෝක්. මිනිස්සුන්ව බය කරලා ඡන්දෙ ගන්න. ඒ වගේ කතාවක් ඕක. චණ්ඩිකම් පෙන්නලා ඡන්දෙ ගන්න බෑ අනුර මහත්තයා." 

"අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. අපි බලයට ආවොත් කරන දේ කියලා තියෙනවා. මේකට එකඟ නම් අපිට ඡන්දෙ දාන්න කියලා තමයි අපි කියන්නේ. එක තමයි හරි කතාව. ඒ චණ්ඩිකම් දකුණේ තියා ගන්න. උතුරට ඇවිල්ලා දාන්න එපා. දකුණෙත් තියාගන්න එපා. දකුණෙත් ඕවාට අහුවෙන්නේ නෑ."