IMF කොන්දේසි උල්ලංඝනය කළොත් වෙන දේ රනිල් කියයි

IMF කොන්දේසි උල්ලංඝනය කළොත් වෙන දේ රනිල් කියයි

September 11, 2024   07:42 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දෙසි කඩ කිරීමෙන් සිදුවන්නේ යළිත් වරක් රටතුළ උද්දමනය ඉහළ යාම බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ, ඇතැම් අපේක්ෂකයින් සිදුකරන පොරොන්දු ලබා දීමට අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් වෙන් කර නොමැති බවය.

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

"අපි IMF අනුව ක්‍රියා කරනවා නම් අපිට ණය ගන්න අමාරුයි. අපේ වියදම එන අවුරුද්දේ ඩොලර් බිලියන 6,800යි. ආදායම ඩොලර් බිලියන 5,100යි. අපේ පරතරය ඩොලර් බිලියන 1,700යි. හොඳ වෙලාවට ඒක දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2%යි. කිසි බයක් නැතුව අපිට මේක හදන්න පුළුවන්. දැන් බලන්නකෝ මාලිමාවේ වියදම් ගත්තහම වියදම ඩොලර් බිලියන 8,900යි. අපිට වඩා ඩොලර් බිලියන 2,000ක් වැඩියි. කොහොම ද මේක කරන්නේ. මේක කරන්න ගිහින් කොන්දේසි කැඩුවොත් මොකද්ද වෙන්නේ ? මෙහෙම කළොත් පළවෙනියෙන්ම වෙන්නේ අපේ රුපියල ඩොලරයට 400 - 425ක් වගේ වෙනවා. කොන්දේසි කඩලා කියලා IMF සහයෝගය අයින් කළොත් ඩොලර් එක රු 500ට යයි. ලෝක වාර්තාවක්."

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජාතික ජනබලවේගය සිදුකරන ප්‍රකාශ සහ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු පරස්පර බවය.

"මිත්‍රයා කියන්නත් එපා කිව්වානේ. හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර කිව්වා අපනයන ආර්ථිකයක් කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුම අහෝසි කරනවා කියලා. කොහොමද අපනයන ආර්ථිකයක් එන්නේ වෙළෙඳ ගිවිසුම් නැතුව. ඔන්න ආණමඩුවේ කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මම කොහොමද විවාදයකට එන්නේ, ඔයාලා කලින්ම අපනයන ආර්ථිකයක් ද ? නැද්ද ? කියන්න. මම ඉස්සෙල්ලාම කියන්නේ, හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්තියි සූර්යපෙරුම මහත්තයා අතර විවාදයක් ඇති කරලා අපනයන ආර්ථිකයක් ද ? ආනයනය ආර්ථිකයක් ද ? කියලා අපිට දැනුම් දෙන්න. ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමායි මමයි IMF අධ්‍යක්ෂතුමියයි කතා කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු. මම ටිකක් බයයි. එයා කතා කරන්න ගත්තාහම අධ්‍යක්ෂ තුමිය යයි මට වැඩ තියෙනවා කියලා."