හිරුණිකාට අධිකරණයෙන් දැනුම්දීමක්

හිරුණිකාට අධිකරණයෙන් දැනුම්දීමක්

September 11, 2024   04:38 pm

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවන මීළඟ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නියෝග කර තිබේ.

ඌව පළාත් හිටපු ආණ්ඩුකාර හාඩි ජමාල්ඩින් මහතා විසින් ගොනුකර තිබෙන පැමිණිල්ල අද (11) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී මෙම නඩුකරයට අදාළව ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ ප්‍රතිවිරෝධතා නොවැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල නඩුකරය නැවත දෙසැම්බර් මස 04 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

ඊට අමතරව නඩු දිනයේ වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බවත් විනිසුරුමඩුල්ල නියෝග කර තිබේ.

පැමිණිලිකරු කියා සිටින්නේ කාන්තාවකට පහර දුන් බව කිය සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇපමත මුදා හැරීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම නියෝගය විවේචනය කරමින් මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ බවය.

මේ තුළින් ඇය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඇයට සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.