දිලිත් ට මහා සඟරුවනේ ආශිර්වාදය - මේ පින්වන්ත භූමිය රැකදෙන්න

දිලිත් ට මහා සඟරුවනේ ආශිර්වාදය - මේ පින්වන්ත භූමිය රැකදෙන්න

September 14, 2024   02:00 pm

'සතුටු දැයක් උදෙසා මහා සඟරුවනේ ආශිර්වාදය' මැයෙන් සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ආශිර්වාද කරමින් ජය පිරිත් දේශනයක් අද (14) පෙරවරුවේ හික්කඩුවේදී පැවැත්වුණි.

මෙම පිරිත් දේශනයට වැඩසිටි කුරුඳුවත්ත බෝධිමළු විහාරයේ විහාරාධිපති පූජ්‍ය මැදමුලනේ විජයබෝධි හිමි දිලිත් ජයවීර මහතාගෙන් ඉල්ලා සිටියේ, ‍බුදු සසුන අමතක නොකර මෙම පින්වන්ත භූමිය රැකදෙන ලෙසය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මැදමුලනේ විජයබෝධි හිමි,

"ජනාධිපතිවරු නිරන්තරයෙන් ගියේ ලොකු පන්සල්වල ලොකු හාමුදුරුවෝ හමුවෙන්න. එතැනට ගියේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ අනුශාසනා අරන්. ගමේ පන්සලේ දහම් පාසල් ගියාට, ගමේ හාමුදුරුවෝ අමතක වෙනවා. ගමේ පන්සලෙන් පටන් ගන්න. කවදාවත් බුදු සසුන අමතක කරන්න එපා. දැන උගත්කම තමයි කෙනෙකුගේ වත්කම. ගුණ නුවණ දැක්කම, ඔබට සලකයි රටේ ඔක්කොම. මේ පින්වන්ත භූමිය හැමදාම රැකලා දෙන්න, රුවන්වැලිසෑය රකින්න, සිරිමහබෝධිය රකින්න, දළදා හාමුරුවෝ රකින්න, පින්බිම අමතක කරන්න එපා"

මේ අතර 'දිලිත් ගමට' ආසන රැස්වීම් මාලාවේ තවත් ජන හමුවක් පොළොන්නරුව කදුරුවෙල බස් නැවතුම්පොළ අසලදී ඊයේ (13) පැවැත්වුණි.

සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජන හමුවේදී දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, සාම්ප්‍රදායික දේශපාලනයට නොරැවටී නව ගමනක් වෙනුවෙන් සර්වජන බලය සමග එක්වන ලෙසය.

සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා,

"ලෝකයේ දියුණු රටවල් භාවිත කරනවා මේ සමූපකාරය කියන සංකල්පය. එය භාවිත කරමින් කොහොමද ඔබගේ කුඹුර අස්වද්දන්නේ, ඔබ කුඹුරට බහින්නේ නැතුව. කොහොමද නවීන යන්ත්‍ර උපකරණ භාවිත කරමින්... අඩුම මුදලක් භාවිත කරමින්... ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි යෝජනා කර තිබෙනවා. ඒ වගේම සමාජ විෂමතාව හා ධනය බෙදීයාමේ විශමතාව අවම කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල යෝජනා කර තියෙනවා. මම ඔබට පොරොන්දු වෙනවා ඔබ හැමදාම බලාපොරොත්තු වූ වෙනස ශ්‍රී ලාංකිකයින්ගේ ආදායම් තත්ත්වය වැඩි කිරීමට."