ක්ලබ් වසන්ත ඝාතනයේ 17 වන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරයි

ක්ලබ් වසන්ත ඝාතනයේ 17 වන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරයි

September 17, 2024   03:56 pm

ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. ජී. පී. කරුණාරත්න මහතා අවසර ලබාදී තිබේ.

අලුත්ගම දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 24ක සැකකරුවෙකු වන මොහුව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

අදාළ වෙඩිතැබීම සඳහා යොදාගත් උණ්ඩවල KPIලෙස සටහන් කිරීම සහ මෝටර් රථයකින් සැකකරුවන් රැඳී සිටි අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයට ගොස් එම සැකකරුවන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම පුද්ගලයා බවට සැකකෙරෙන බව පොලීසිය අධිකරණය හමුවේ කරුණු අනාවරණය කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 17 වන සැකකරු ලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරියක ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

තවත් සිව් දෙනෙකු මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝග මත පොලීසිය භාරයේ පසුවෙයි.