වික්ටෝරියා දිය ඇල්ල අසල ඉදිවන මනරම් ක්‍රිකට් පිටිය

වික්ටෝරියා දිය ඇල්ල අසල ඉදිවන මනරම් ක්‍රිකට් පිටිය

September 16, 2024   05:03 pm

අප්‍රිකාවේ වඩාත් ආකර්ෂණීය දිය ඇල්ලක් ලෙසින් සැලකෙන වික්ටෝරියා දිය ඇල්ල අසල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සිම්බාබ්වේ රජය තීරණය කර ඇත.

ඊට අදාළ මූලික පියවර දැනටමත් ඔවුන් විසින් ආරම්භ කර තිබේ.  

විදෙස් වාර්තාවන්හි දැක්වෙන පරිදි එරට ජනාධිපති එමර්සන් ම්නන්ගාවා පසුගියදා එහි ඉදිකිරීම් සඳහා මුල්ගල තබා ඇති බවයි.

එම වාර්තාවන් පෙන්වා දෙන්නේ මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අවසන් වූ පසු මෙය ලොව වඩාත් මනරම් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වනු ඇති බවයි.

Mosi-oa-Tunya ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසින් නම්කර ඇති මෙය, ආසන 10,000කින් සමන්විත වෙයි.

ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වසර දෙකකින් අවසන් කිරීමට නියමිතව ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා සිම්බාබ්වේ රජය විසින් හෙක්ටයාර 10ක භූමි ප්‍රමාණයක් වෙන් කර ඇති අතර, ඉදිකිරීම් කටයුතු සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අරමුදල් සපයන බව වාර්තා වේ. 

මෙය ඉදිකිරීම් සඳහා ඩොලර් මිලියන 5ත් 10 ත් අතර මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2026 වසරේදී සිම්බාබ්වේ, නැමීබියාව සමග එකතුව අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සහ 2027 දී දකුණු අප්‍රිකාව සහ නැමීබියාව සමග එක්ව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවැත්වීමට නියමිතය.

මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ එබැවිනි.